Tuesday, June 12, 2012

[Maha Kapi Jathakaya] මහා කපි ජාතකය

devdath trying to kill Loard Buddha.
මනුෂ්‍යයාගේ හිත විනාශ කරන එකක් තමයි ”අසත්පුරුෂ බව”කියල කියන්නෙ. භාග්‍යවතුන් වහන්සේ අපට අසත්පුරුෂ බව ගැන කියා දෙනවා. අසත්පුරුෂ බව ගැන ඉගෙන ගත්තහම තමයි අපිට තේරෙන්නේ, අසත්පුරුෂ බව කියන එක කොතරම් බිහිසුණු එකක් ද කියල. ඒ අසත්පුරුෂ බවේ තියෙන බිහිසුණු බව ගැන යම් පමණකින් හෝ වැටහීමක් කෙනෙකුට තිබ්බොත්, ඒ අසත්පුරුෂ බවට එයා කැමති වෙන්නේ නෑ. එතරම් ම ඒ අසත්පුරුෂ බව කියන එක භයානක එකක්. කිසිසේත් කැමති නොවිය යුතු එකක්.
දේවදත්ත භාග්‍යවතුන් වහන්සේව නසන්ට විවිධ දේවල් කළා. බැරිම තැන දේවදත්ත පෞද්ගලිකව තමන් ම ඉදිරිපත් වුනා, ”මම ම භාග්‍යවතුන් වහන්සේව නසන්ට ඕනැ” කියල. දිනක් භාග්‍යවතුන් වහන්සේගේ හිස මතට දේවදත්ත විශාල ගලක් පෙරලූවා. ඒ වෙලාවේ ඒ ගල භාග්‍යවතුන් වහනසේගේ සිරසට වැටෙන්ට නොදී මහපොළවෙන් ම ගලක් මතුවෙලා ඒ ගල නැවැත්තුවා. මේ සිද්ධිය වුනාට පස්සේ ස්වාමීන් වහන්සේලා ගොඩාක් කැළඹුනා. කැළඹිලා, දේවදත්ත කරන මේ අසත්පුරුෂ ක‍්‍රියා ගැන නිතර කතාවුනා. ඒ විදිහට කතාවෙන හැම වෙලාවකදී ම භාග්‍යවතුන් වහන්සේ ඒ සම්බන්ධයෙන් ධර්ම කාරණා කියා දුන්නා.
දේවදත්ත භාග්‍යවතුන් වහන්සේට ගල් පෙරලූවට පස්සෙ ස්වාමීන් වහන්සේලා කතාවුනා, ”මේ දේවදත්ත මෙබඳු මහා භයානක අනතුරක් කරන්ට හැදුව නේද? භාග්‍යවතුන් වහන්සේට ගල් පෙරලූව නේද”කියල. ඉතින් එහෙම ඉන්න කොට භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැනගන්ට ලැබුන. භාග්‍යවතුන් වහන්සේ කියා සිටිය, ”දේවදත්ත මට ගල් පෙරලූවෙ මේ ජීවිතයෙදි විතරක් නෙවේ, මීට ඉස්සර අතීත ජීවිතයකදිත් මගේ සිරසට ගල් පෙරලූව, ඒ වගේ මට හානි කරපු, හතුරුකම් කරපු කෙනෙක් තමයි ඔය දේවදත්ත” කියල කියා සිටිය. ”මම උපකාර කරද්දීත්, ඒ උපකාරයන් නොතකා මට මේ ජීවිතයේ විතරක් නෙවේ, මීට කලින් ජීවිතයකදීත් මගේ හිසට ගල් පෙරළලා තියෙනවා” කියල භාග්‍යවතුන් වහන්සේ කියා සිටිය. ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ අතීත ජීවිතයක දී දේවදත්ත ගේ අසත්පුරුෂ ක‍්‍රියාවක් ගැන සිහි කළා.
එක්තරා කාලකෙදි දේවදත්ත බ‍්‍රාහ්මණ පවුලක ඉපදිලා ගොවිතැන් කරල ජීවත් වුනා. දවසක් මෙයා කුඹුරු හාලා තමන්ගේ හරක් ලිහලා තණකොළ කන්ට නිදැල්ලෙ අතහැරිය. ඒ අතර මෙයා වෙන වැඩක් කරමින් හිටියා. ඒ අවසරෙන් හරක් හිමින් හිමින් ගිහිල්ල කැලෑ වැදුනා. පස්සෙ මේ බ‍්‍රාහ්මණය වට පිට බලපුවා ම හරක් හිටියෙ නැති නිසා අඩිපාර දිගේ හොයාගෙන ගියා. මේ විදිහට හොයාගෙන යද්දි, කැලේ මැදට යන්ට සිද්ධ වුනා. අන්තිමේදී මෙයාට හරක් හොයා ගන්ට බැරි වුනා, කැලේ අතරමං වුනා. කැලේ ඇවිදල ඇවිදල හොඳටම මහන්සියි. කන්න බොන්න දේකුත් නෑ. ගහක තිබුන ගෙඩි වගයක් කඩාගෙන කන්න හිතාගෙන මෙයා ගහකට නැග්ගා. කව්ද ඒ? අතීත ජීවිතයක දේවදත්ත. මෙයා මේ ගෙඩි කමින් දන්නෙ ම නැතුව ගහේ අතු අගට ම ආව. අතු අග ඉන්නකොට ගහෙන් පහතට මෙයාව ඇඳගෙන වැටුනා. වැටිල ඒ ගහ පාමුල තිබිච්ච ලොකු වලක් ඇතුලට මෙයාව වැටුනා. ඒ වළේ වතුර තිබුණ නිසා මෙයාට හානි වුනේ නෑ. නමුත් මෙයාට ගොඩ එන්ට බැරි වුනා, ශරීරය දුරවල යි. මේ විදිහට මේ වළ අස්සෙ දවස් හතක් ම ඉන්ට සිද්ධ වුනා. මුකුත් කර කියාගන්ට බෑ. ගොඩ එන්න විදිහක් නෑ. කන බොන කිසි දෙයක් නෑ, ඉතා ම දුර්වල වුනා. කෙඳිරි ගගා මේ වල අස්සෙ දවස් හතක් හිටියා.
මේ කාලෙදි අපේ මහ බෝසතාණන් වහන්සේ, වානරයෙක් විදිහට ඉපදිලා ඒ වනන්තරේ වාසය කළා. උන්වහන්සේ පළතුරු ආදිය කමින් ඒ වනාන්තරේ ඉන්න අතර, අර බ‍්‍රාහ්මණය පළතුරු කාපු ගහටත් ආවා. උන්වහන්සේ ගහේ පළතුරු කමින් ඉන්න කොට වළ අස්සෙන් කෙඳිරි ගාන හඬක් ඇහුන. ඊට පස්සෙ බැලූව කව්ද කියල. බලනකොට දැක්ක වල ඇතුලෙ මනුෂ්‍යයෙක් වැටිල ඉන්නවා. ඊට පස්සෙ උන්වහන්සේ කල්පනා කළා, ”මේ මනුෂ්‍යයට උදව් කරන්ට ඕනෑ, මෙතන හිටියොත් මෙයා විනාශ වෙලා යනව. මෙයාට පිළිසරණක් නෑ.” කියල.
දැන් මෙයාව ගොඩ ගන්ට ක‍්‍රමයක් නෑ. ඊට පස්සෙ උන්වහන්සේ, මනුෂ්‍යයෙකුගෙ බරට ගලක් අරගෙන, ඒ ගල ඇ‍ඟේ බැඳගෙන, වළ උඩ ඉඳන් එහෙට මෙහෙට පැනල, බරක් උස්සගෙන පනින්ට පුරුදු වුනා. බලන්න කොච්චර නුවණ පාවිච්චි කරනව ද කියල. දැන් මේසා දෙයක් කරන්නෙ ඇයි මේ? කෙනෙකුගේ දුක දැකල, ඒ දුකෙන් මුදව ගන්න, කරුණාව නිසා. මේ සත්ව යෝනියක ඉපදිච්ච කෙනෙක්. එතකොට බලන්න මේ බෝධිසත්වයන්ගේ ස්වභාවය කොයි වගේ ද කියල.
හොඳට පුරුදු වුනාට පස්සේ වළ අස්සට මේ වානරය පැන්න. පැනල අර මනුෂ්‍යයට කිව්ව, ”මගේ කරේ නැඟල හොඳට අල්ල ගන්න” කියල. හොඳට අල්ල ගත්තට පස්සෙ තමනුත් අතකින් අල්ලගත්ත. අල්ලගෙන වල උඩට පැන්න. වල උඩට පැනල ඒ මනුෂ්‍යයාව බේරගත්ත. මෙහෙම කළායින් පස්සේ මේ වානරයට හොඳට ම මහන්සියි. ඊට පස්සෙ කිව්ව, ”මට හරී අමාරුයි, වෙහෙසයි. ඒ නිසා වෙහෙස නිවාගන්ට මම ටිකක් හාන්සි වෙනව. මේ වනාන්තරේ සිංහයෝ, වළස්සු, ව්‍යාඝ‍්‍රයො වගේ දරුණු සත්තු ඉන්නව. ඒ නිසා පොඞ්ඩක් බලන් ඉන්න. මම පොඞ්ඩක් හාන්සි වෙන්නම්” කිව්ව. දැන් මේ වානරය ගොඩාක් අමාරු දෙයක් කළේ නේද? මේ මනුෂ්‍යයා වළ ඇතුලෙ හිටියෙ. වළ ඇතුලෙ හිටිය මනුෂ්‍යයා කරේ තියාගෙන වළ උඩට පැන්න. මනුෂ්‍යයෙක්වත් කරයි ද? මනුෂ්‍යයෙකුටවත් කරන්ට බැරි දෙයක් මේ කළේ. ඊට පස්සෙ වෙහෙස නිවාගන්ට බෝධිසත්වයන් වහන්සේ එතන හාන්සි වුනා.
ඊට පස්සෙ මේ මනුෂ්‍යයා කල්පනා කළා, ”මම දැන් දවස් ගානක ඉදන් බඩගින්නෙ ඉන්නෙ. මගේ ශරීර ශක්තිය හොඳටම දුර්වල යි. මට මේ ගස්වල ගෙඩි ආදිය දේ කාල මේ ශක්තිය නැවත ගොඩගන්ට අමාරු යි. මේ වානරය වලස්සුන්ට, සිංහයින්ට, ව්‍යාඝ‍්‍රයින්ට, ගොදුරු වෙන්ට ඉන්න සතෙක්. මම මූව මරාගෙන කන්ට ඕනැ. මූව මරාගෙන මස්ටික කෑවොත්, මට මේ ශරීරය ඉක්මණින් බලවත් කරගන්ට පුළුවන්. එහෙම වුනොත් මට මේ වනාන්තරෙන් එළියට යන්ට පුළුවන්” කියල කල්පනා කළා. කල්පනා කරල ළඟ තිබ්බ ගල් පතුරක් අරගෙන ඒ වානරයගෙ හිසට ගැහුවා.
බලන්න මේ අසත්පුරුෂකම කියන එක කොච්චර භයානක එකක් ද කියලා. මේ වළ අස්සෙ මැරී නොමැරී හිටපු මනුෂ්‍යයා. මරණයට නියමවෙලා හිටපු මනුෂ්‍යයා. දවස් හතක් කුසගින්නෙ ආහාරයක් නැතිව වළ අස්සෙ හිටපු මනුෂ්‍යයා. කිසිම මනුෂ්‍ය පුලූටක් නැති වනාන්තරේ, මේ වානරය තමයි ඉතා ම අමාරුවෙන් මෙයාව බේරගත්තෙ. ඒ වෙහෙස නිවා ගැනීම පිණිසයි නිදාගෙන හිටියෙ. එතකොට ඒ මහා උපකාරයක් ලැබිල වැඩි වෙලාවක් ගියෙ නෑ. උපකාරය ලැබුණ විතරයි. එයා කල්පනා කළේ කොහොම ද? එතරම් විශාල උපකාරයක් ලැබිල, ඒ උපකාරය ගැන සිතිවිළි මාත‍්‍රයක් එයාට අවෙ නෑ නේ ද? එයාට හිතන්න බැරි වුනා තමන්ගෙ ජීවිතය මේ තරම් පරිශ‍්‍රමයක් දරල බේරගත්ත කෙනා ගැන, ඒ කළ මහා උපකාරය ගැන සිතුවිළි මාත‍්‍රයක් ඇතිකර ගත්තෙ නෑ. මොකක් ද ඇතිකර ගත්තෙ ”මම කොහොම ද දියුණු වෙන්නෙ? මම කොහොම ද බලවත් වෙන්නෙ? මම කොහොම ද දිනන්නෙ” කියල යි.
මේ මනුෂ්‍යයාට දවස් හතක් නිරාහාරවෙලා හිටපු නිසා ශරීර ශක්තිය නෑ. ඒ නිසා ගහපු ගල් පාර බලවත් වුනේ නෑ. දුබල යි. ඇහැට උඩින් වැදුන. වානරය ඇහැරිලා බැලූව. මෙයා හිතුවෙ සතෙක් වෙන්න ඇති කියල. මෙයා ගහකට පැනගත්ත. පැනගෙන වටපිට බැලූව. මෙයා කල්පනා කළා, ”මේ නම් දරුණු සතෙකුගේ වැඩක් නෙවේ. ව්‍යාඝ‍්‍රයෙක් හෝ සිංහයෙකුගෙ දෙයක් නෙවෙයි මේක. එකත් එකට ම මේ දුෂ්ඨ පුද්ගලයගෙ වැඩක් මේක” කියල. එතකොට මේ ඇහැට උඩින් වැදිච්ච ගල්පාර නිසා තුවාලවෙලා මස් වැදැල්ලකින් ඇහැ වැහිල ලේ ගලමින් තිබුනෙ. එක එතකින් කඳුලූ පිහමින්, අනිත් අතින් මේ මස් වැදැල්ල උඩට උස්සල වානරය බැලූව. බලපුවා ම මේ මනුෂ්‍යයා ඉන්නව. මෙයා දැනගත්ත මේ මනුෂ්‍යයා තමයි මේක කළේ කියල.
ඊට පස්සෙ ඒ වානරය කියා සිටිය, ”ඔබට මම මේසා උපකාරයක් කළා. මේසා උපකාරයක් කරල තියෙද්දීත් ඇයි මේ වගේ පාපී ක‍්‍රියාවක් කළේ. ඔබ ලොකු වළක ඉඳල මම ඔබව ගොඩට ගත්තා. ඔබ දැන් ඊටත් වඩා විශාල වළකට වැටුණ. මිත‍්‍රද්‍රෝහීකම නැමැති වළට ඔබ වැටුන. බලන්න මම දැන් මේ තුවාලයෙන් ලේ ගලමින් දුක් විඳිනව. පීඩා විඳිනව. ඔබ බොහෝ දුක්විඳින්න සිද්ධවෙන පවක් කරගත්තෙ. හැබැයි ඔබට කිසියම් ම කිසිකලෙක මේ පවට විපාක විඳින්ට සිදු නොවේවා කියල මම ප‍්‍රාර්ථනා කරනවා” කියල කිව්වා. බලන්න මෙච්චර වේදනා දීල තිබුණා වුනත් ඒ කළ දේට විපාක විදිහට දුකක් ඇති නොවේවා කියලයි මහ බෝසතාණන් වහන්සේ ප‍්‍රර්ථනා කළේ.
ඊට පස්සෙ කල්පනා කළා, ”මේ වනාන්තරේ ව්‍යාඝ‍්‍රයින්, සිංහයින් ආදී දරුණු සත්තු ඉන්නව. මේ මනුෂ්‍යයා මෙතන හිටියොත් අනිවාර්යෙන් ම සතෙකුට ගොදුරු වෙනවා. එහෙම දෙයක් සිද්ධ වුනොත් මගේ අනුකම්පා කිරීමේ අර්ථයක් නෑ” කියල, නැවත වතාවක් ඒ මනුෂ්‍යයාගේ ජීවිතය බේරා ගැනීම සදහා උපකාර කළා. හැබැයි උපාකර කළේ ”ඔබ ගැන මට විශ්වාසයක් නෑ. ඔබ ගැන විශ්වාස කරන්ට බෑ. ඒ නිසා මම ගස් වලින් අත්තෙන් අත්තට පැන පැන යනව. එතකොට මම යන දිහා බලාගෙන ඈතින් පයින් එන්න. මම මිනිස් වාසස්ථාන සීමාව දක්වා පාර පෙන්වන් නම්” කිව්ව. ඊට වඩා කරන්න විදිහක් නෑ කිව්ව.
ඊට පස්සෙ මේ වානරය එක අතකින් මස් වැදැල්ල උඩට අල්ලගෙන, ලේ කඳුලූ පෙරන ඇස්වලින් යුක්තව එක අතකින් අතු අල්ල අල්ලා, අත්තෙන් අත්තට පැන පැන ඒ මහා වනාන්තරේ විශාල දුරක් ගෙවාගෙන මිනිස් වාසස්ථාන සීමාව දක්වා ම මේ මනුෂ්‍යයාට මඟ පෙන්නුවා. මිනිසුන් ගැවසෙන සීමාව දක්වා මනුෂ්‍යයා එකතු කරගෙන ගිහිල්ල ප‍්‍රකාශ කළා, ”දැන් මේ හරියේ දරුණු වන සතුන් නෑ. මිනිස්සු ගැවසෙන ප‍්‍රදේශ හොයාගෙන යනකොට ඔබට ජනාවාස මුණගැහෙයි. දැන් පිටත් වෙන්න” කියල වානරය ආපහු වනාන්තරයට ගියා. මේ මනුෂ්‍යයා ගම්මානෙට ගියාට පස්සෙ, මේ කළ දේ විපාක විදිහට මේ මනුෂ්‍යයට ඒ ජීවිතයෙදි ම නොයෙකුත් දුක් විඳින්ට සිද්ධ වුනා. දුක් විඳල මේ මනුෂ්‍යයා මරණින් මත්තේ නිරයෙ ඉපදුනා.
මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ සිහි කරල දීල කියා දුන්නා ”ඒ වානරය විදිහට ඉපදිලා හිටියෙ, ඒ තථාගතයන් වහන්සේ ම යි. ඒ බ‍්‍රාහ්මණය විදිහට අතරමං වෙලා, ඒ වානරයගෙන් උපකාර ලබාගෙන, වානරයගේ හිසට ගල් පහරක් ගැහුවෙ දේවදත්ත” කියල. ඒ අතීත ජීවිතයෙදීත් මගෙන් මහත් වූ උපකාර ලබාගෙන, ඒ උපාකරය ගැන සලකන්නෙ නැතුව, තමාගේ ලාභය ගැන ම කල්පනා කරලා මගේ හිසට දේවදත්ත අතීතයෙදිත් ගල් පෙරලූව. මේ ජීවිතයෙදීත් මගෙන් උපකාර ලබාගෙන, ඒ උපකාර ගැන කල්පනා නොකර ලාභ සත්කාර ම හොයල මගේ හිසට ගල් පෙරලූව. ඉතින් ඒ විදිහට ඒ අසත්පුරුෂ ක‍්‍රියා කරල දේවදත්ත ම විනාශවෙලා ගියා” කියල භාග්‍යවතුන් වහන්සේ කියා දුන්නා.
සියලූ දෙනාටම තෙරුවන් සරණයි.
පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ
ජාතක කතා අසුරින්‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි..

WarnaRoha Jathakaya [වර්ණරෝහ ජාතකය]


නිදාන කථාව:- එක් සමයක අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වූ පින්වත් සාරිපුත්තයන් වහන්සේ සහ මොග්ගල්ලාණයන් වහන්සේ පිටිසර ගමකට වැඩමකොට වාසය කල සේක. මිනිසෙක් මෙම දෙදෙනා වහන්සේගේ මිත්‍ර ධර්මය දැක කෙසේ හෝ බිඳවන්නට සිතක් පහල වී දෙදෙනා වහන්සේලා ලඟට වෙන වෙනම ගොස් නොයෙක් බොරු ගොතා ඔබට අසවල් නම බොහෝ දොස් කීවේයැයි කීය. ඒ දෙනමද කිසිවක් නොපවසා ඔහු යවා දෙනම එක් වී අසවල් පුරුෂයා අප බිඳවීමට යත්න දරන්නේය කියා වස් තුන් මස එහි වැඩ සිට භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස් එපවත් දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ දෑගසව්වන් වහන්සේලා අමතා ඔහු පෙරද තොප දෙදෙනා බිඳවන්නට උත්සාහ කලවිට එයද නිරර්ථ වූයේයැයි ඉකුත්වත වදාල සේක.

ජාතක කථාව: - යටගිය දවස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යය කරන කල්හි වනයක විශාල වෘක්ෂයක වෘක්ෂ දේවතාවෙක් විය. ඒ අසල සුදාඨ නම් සිංහ රජෙක්ද සුබාහු නම් ව්‍යාඝ්‍රයෙක්ද දැඩි මිත්‍රව වසන්නාහ. මේ දෙදෙනා දඩයම් කර ඉතිරි උන සතුන්ගේ කොටස් අහාරයට ගනිමින් කැනහිලෙක්ද සුවසේ වාසය කලේය. දිනක් කැනහිලා සිතන්නේ මෙතෙක් මේ දෙදෙනා නිසා කැලේ ඉන්න සියළුම සතුන්ගේ පාහේ මස් වර්ග අනුභව කර ඇතත් සිංහ මස් සහ ව්‍යාඝ්‍ර මස් අනුභව කර නැති බවය. මේ දෙදෙනා බිඳවා භේද කොට උනුන් හා ගස්සවා මරවා දෙදෙනාගේම මස් කෑමට සිතා සිංහයා ලඟට ගොස් කැණහිලා කියන්නේ, ස්වාමීනි, මා දිනක් ව්‍යාඝ්‍රයා ලඟට ගියෙමි ඔබගේ නුගුණ විනා ගුණයක් කීවේම නැත ඔහුට තරම් ගුණවත් වික්‍රමවත් රූපයක් ඔබට නැතැයි පරිභව කලේයැයි බොරු ගොතා පැවසීය. සිංහයා එය අසා හොඳයි තොප මෙතැනින් යන්නයැයි පිටත් කළේය. කැණහිලා එතැනින් ගොස් ව්‍යාඝ්‍රයාටද පෙර සේම කීය. සිංහයා සහ ව්‍යාඝ්‍රයා හමු වී කැණහිලා දෙදෙනා බිඳවන්න හදන බැව් දැන එතනින් එලවා දැමීය. දෙදෙනාම සැක ශුරුකොට නීච කැණහිලාගෙන් වෙන්වී සමගියෙන් විසූහ.

එසමයෙහි කැනහිලා වනාහි පෙර කී මේ පුරුෂයාය, සිංහව උපන්නේ සාරිපුත්තයන් වහන්සේය, ව්‍යාඝ්‍රව උපන්නේ මොග්ගල්ලානයන් වහන්සේය, වෘක්ෂ දේවතාව ඉපිද මේ කාරණය දුටුවේ අපගේ භාග්‍යවතුන් වහන්සේය.

ඉතින් පින්වත් මිතුරනේ මෙවැනි නීච ගති ඇති එකිනෙකා බ්ඳවන මිනිසුන් අදත් සිටිනවා. එම නිසා එක එක්කෙනාගේ වචනය එකවරම පිලිගෙන මිතුරුදම් නැතිකරගන්න හොඳ නැහැ. එවැනි අවස්ථා වලදී ඉතාම බුද්ධිමත්ව හරි වැරැද්ද තෝරාගැනීමට ඔබ දක්ෂ වෙන්න ඕන. පවිටු ඇසුර දුරින්ම දුරු කරන්නට ඕන

Wednesday, June 6, 2012

රුවන්මැලි සෑ ප‍්‍රතිසංස්කරණයට ලක්ෂ දෙකහමාරක් පිරිනැමූ ගැමි සිටු වරයා

before construction of Ruwanmeli seya

construction of Ruwanmeli seya

Don Hendrick Situge
එය1912 වසරේ ජුනි මස 03 වැනිදාය. තවත් ආකාරයකින් කියනවා නම් එම වසරේ පොසොන් පුර පසළොස්වක පෝ දිනයයි. දහස් සංඛ්‍යාත සැදැහැවත් බොදු බැතිමතුන් පිරිසක් සුදෝ සුදු වතින් සැරසී සුදුවන් වැලි තලයෙන් යුතු රුවන්වැලි සෑ මළුවේ බණ භාවනාදී පිංකම්හි නිරතවී සිටිති. සුදු වතින් සැරසීගත් බාලිකාවෝ පිරිසක් එම සැදැහැවතුන් වෙත පැමිණ ආධාර එකතු කරමින් සිටිති. ඒ රුවන්වැලි සෑ රදුන්ගේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහාය.

ප‍්‍රසන්න පෙනුමකින් යුතු උත්තුංග දේහධාරී වයෝවෘද්ධ සැදැහැවතෙක් කුඩා පිත්තල වංගෙඩියක් තුළ බුලත් විටක් කොටමින් සිටියේය. ආධාර එකතු කරමින් පැමිණි බාලිකාවෝ ඔහු වෙත පැමිණියහ.

”සීයා.... චෛත්‍යයේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට ආධාරයක් දෙන්න.” බාලිකාවන් අතර සිටි කටකාර එකියක් කීවාය.

”සීයා?... මම කොහොමද බොලාට සීයා වෙන්නෙ?” වයෝවෘද්ධ සැදැහැවතා සිනාමුසු මුහුණින් යුතුව මෘදු ස්වරයෙන් ඇසීය. ඔහුගේ ප‍්‍රශ්නයට පිළිතුරක් සොයාගත නොහී දැරියෝ පසුබා නිහඬව බලා සිටියහ.

ඒ දරුවො ඔහේට සීයා කියල කථා කළේ වැඩි ආදරේට නේ අප්පුහාමි. සැදැහැවතා අසලින් වාඩිවී සිටි එම වියේම පසුවන අනෙක් සැදැහැවතා බාලිකාවන් වෙනුවෙන් කථා කළේය.

එහෙමද? එහෙනම් ලියාගනිල්ලා මගෙන් රුපියල් ලක්‍ෂ දෙකහමාරක්. සැදැහැවතා ගත් කටටම කීවෙන් බාලිකාවෝ ඔහුට උපහාසාත්මක ලෙසින් සිනාසෙමින් එතැනින් නික්ම ගියහ.

ඇත්තටමද අප්පුහාමි ඔහේ ඒ දරුවන්ට ලක්‍ෂ දෙකහමාරක් ලියා ගන්න කිව්වේ? මිතුරා සැදැහැවතා අමතා ඇසීය.

අද මේ පොසොන් පුර පසළොස්වක පෝය දවසෙ අටසිල් සමාදම් වෙලා මේ උතුම් රුවන්වැලි සෑ මළුව ඉඳගෙන බොරු කියනවද මම? ඇත්තටම රුළහාමි ඔහේගෙ ඔළුවෙ අමාරුවක් තියෙනවාද? සැහැදැවතා සිනාසෙමින් තම මිතුරා ගෙන් ඇසීය.

ඒ දරුවෝ නම් ඔහේගෙ කථාව තඹේකට විශ්වාස කළේ නෑ. ඒ නිසා ඔහේ ගැන ඉස්පිල්ලක් පාපිල්ලක් නෑරම දන්න මමවත් ඒ වචන විශ්වාස කළේ නෑ අප්පුහාමි. මිතුරා යළිත් කීවේය.

රුවන්වැලි සෑ මළුව ඇතුළු මුළු ප‍්‍රදේශය පුරා සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත‍්‍ර ඔස්සේ ඒ මොහොතේ නිවේදනයක් නිකුත් විය.

තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥධාතු නිදන් කර ලංකාවාසී සැදැහැවත් ඔබ සැමට නිවන් පුර රුවන් දොර විවර කැරදීම සඳහා එදා අපේ ශ්‍රේෂ්ඨ නරපති දුටුගැමුණු මහ රජාණන් විසින් ඉදි කරන ලද්දාවූ රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ මේ වන විට තරමක් අබලන් තත්ත්වයකට පත්ව ඇති බැවින් වහා කළ යුතු ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා පුණ්‍යකාමී සැදැහැවත් ඔබ සැමගෙන් ශක්ති ප‍්‍රමාණයෙන් ආධාර අපේක්‍ෂා කෙරේ. සංසාර ගමන් මග කෙටි කැර ගෙන නිවන් දැකීමේ අරමුණ පෙරදැරි කැරගෙන මේ උතුම් පොසොන් පුර පසළොස්වක පෝදා මේ රුවන්වැලි සෑ පින්බිමේ අටසිල් සමාදම් වී සිටින සැදැහැවත් ඔබ සැම දහඩිය මහන්සියෙන් උපයාගත් මුදලින් මේ උත්තම පුණ්‍යකර්මය සඳහා තම තමන්ගේ ශක්ති ප‍්‍රමාණයෙන් දායක වන ලෙස අපි ඔබ සැමට කාරුණිකව ආයාචනා කරමු.
ශ‍්‍රද්ධා සම්පන්න ඔබේ නොමසුරු ආධාර භාර ගැනීම සඳහා මේ පුණ්‍ය භූමියේ පිහිටුවා ඇති කාර්යාලයේ නිලධාරී මහත්වරු සූදානම්ව සිටින බැවින් මේ උදාරවූ පුණ්‍ය කර්මයට දායකවී සුවදායිවූ මරණයක් කෙළවර අජරාමර නිවන් සුව ප‍්‍රාර්ථනා කැර ගන්නා ලෙස සැහැදැහැවත් ඔබ හැමට අපි ගෞරවපූර්වකව ආයාචනා කරමු. මේ එම නිවේදනයයි.

”අප්පුහාමි ඔහේට ඇහුනැයි? අපි යමුද ඔහේගෙ අර ලක්‍ෂ දෙකහමාර දෙන්න? මට නම් ලක්‍ෂ ගණන් නැති වග ඔහේ දන්නවනේ? මම බොහොම අර පිරිමැස්මෙන් ඉතිරි කර ගනිපු රුපියල් පන්සීයක් තියෙනවා. මගේ මිය පරලොව ගිය මාපියන්ට පින් සිද්ධ වෙන්න කියල මම ඒක පූජා කරනවා. මිතුරා එකී සැදැහැවතාට කීවේය.

කොටමින් සිටි බුලත් විට අතට හලා එය දත් නැති මුව තුළ රුවාගත් හෙතෙම තම කුඩා පිත්තල වංගෙඩිය ශුද්ධ පවිත‍්‍ර කැර ගමන් මල්ල තුළට දමාගෙන නැගී සිටියේය. ”යමු රාළහාමි යමු” හේ පෙරමුණ ගනිමින් මිතුරා ඇමතීය.

දෙමිතුරෝ රුවන්වැලි සෑ කාර්යාලය භූමිය වෙත පැමිණෙද්දී එහි දිගු පෝලිමකි. එහි සිටි හැමෝම රුවන්වැලි සෑ රදුන්ගේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා මහත් ශ‍්‍රද්ධාවෙන් භක්තියෙන් දායක වෙනු පිණිස පැමිණියෝ වූහ. ඒ දෙමිතුරෝද පෝලිමේ අගට එකතු වූහ. රුපියල් දාහට වැඩි විශේෂ ආධාර දීමට බලාපොරොත්තු වෙන පින්වතුන් පෝලිමේ සිටීනම් කරුණාකර පෝලිමෙන් ඉවත්වී කාර්යාලය තුළට පැමිණෙන්න. සංවිධායකවරු ශබ්ද විකාශන යන්ත‍්‍රය හරහා තවත් නිවේදනයක් නිකුත් කළහ.

පෝලිමේ සිටි ගරු ගාම්බීර මහේශාඛ්‍ය පෙනුමෙන් යුතු ප‍්‍රභූවරු රැුසක් පෝලිමෙන් වෙන්වී කාර්යාලය තුළට ගියහ.

”අන්න අප්පුහාමි... ඇහුණ නේද ඔහේට? ඔහේත් යන්න කාර්යාලය ඇතුළට. මිතුරා කීවේය.

අප්පුහාමි කාර්යාලය තුළට ඇතුළු විය. සල්ලිකාර ප‍්‍රභූවරුන් විස්සක් තිහක් පමණ එම කුඩා කාර්යාලය තුළ තෙරපෙති. දුප්පත් ගැමියකුගේ පෙනුම ප‍්‍රදර්ශනය කළ අප්පුහාමි ඒ හැමට විහිළුවක් උපහාසයක් වූ සෙයකි. ඔවුන් අප්පුහාමි නොරුස්නා සෙයක්ද මොනවට ප‍්‍රදර්ශනය විය. අප්පුහාමි ඔවුන් දෙපසට කරමින් ඉදිරියට ගියේය.

”ඔන්න මහත්තයා ලියාගන්න මගෙන්.....” අප්පුහාමිට සිය වාක්‍යය නිම කරන්නට ඉඩ නොදෙමින් එහි සිටි ප‍්‍රභූවරයෙක් කථා කළේය.

”ශත දහයක්” ඔහුගේ බහට එහි සිටි ප‍්‍රභූවරු සැවොම උපහාසාත්මක ස්වරයෙන් උස් හඬින් සිනාසෙන්නට වූහ.

”නෑ ශත විසි පහක්” අප්පුහාමි ඊටත් වඩා උස් හඬින් කීවෙන් ප‍්‍රභූවරු යළිත් සිනාසෙන්නට වූහ.

”ඔය මහත්තයා යන්න අර පෝලිමට. මෙතැන ලියන්නෙ රුපියල් දාහට වැඩි විශේෂ ආධාර” සංවිධායකයෙක් කීවේය.

”මහත්තයෝ ලියාගන්නකො විසි පහ ලියල දාන්න ඒකට අගට තව බිංඳු හතරක් අප්පුහාමි උස් හඬින් කියා ආඩම්බර ලීලාවෙන් වට විට බැලූවේය.
”මොනවා? ශත දෙලක්‍ෂ පනස්දාහක්? අපබ‍්‍රංශයක්නෙ?” සංවිධායකයා විමතියෙන් ඇසීය.

”පිස්සෙක්... ඔල්මාද කාරයෙක්.... අංගොඩ ඉඳලා ගෙදර යන ගමන්” ප‍්‍රභූවරු මුමුනන්නට වූහ.

”ශත දෙලක්‍ෂ පණස් දාහක් නොවෙයි. රුපියල් දෙලක්‍ෂ පනස් දායක්”

අප්පුහාමි යළිත් උස් හඬින් කීවේය. නිලධාරියා අප්පුහාමි දෙස පරීක්‍ෂාවෙන් බැලීය. පාදාන්තයේ සිට කේෂාන්තය දක්වාත් කේෂාන්තයේ සිට පාදාන්තය දක්වාත් අනුලෝම ප‍්‍රතිලෝම වශයෙන් බැලීය.

”නම කොහොමද උපාසක මහත්තයෝ? නිලධාරියා ඇසීය.
දොන් හෙන්ද්‍රික් සිටුගේ..... ගම අකුරැුස්ස හේනෙගම අප්පුහාමි පෙරටත් වඩා උස් හඬින් කීවේය.

නිලධාරියා එම විස්තර ලියා ගත්තේය. තම ගමන් මල්ලෙන් චෙක් පොතක් හා පෑනක් එළියට ගත් අප්පුහාමි වටපිට බැලූවේය. ”ආ..... මේ පුටුවෙ වාඩිවෙලා ලියන්න” නිලධාරියා සිය අසුනින් නැගී සිටිමින් කීවේය.
”අද අපට උච්ඡුාසයන අකැපයි නේ මහත්තයෝ. අද අපි අටසිල් සමාදම් වෙලා නොව. චැක් කඩදාසිය ලියලයි තියෙන්නෙ. අත්සන් කරන්න විතරයි ඇත්තෙ. ”කී හෙතෙම තම චෙක් පොත නිලධාරියාගේ මේසය මත තබා අදාළ චෙක් පතෙහි අත්සන් කළේය.

සැදැහැවතා දෙස උපහාසයෙන් බැලූ, ඔහුට සිනාසුණු යම් යම් උපහාසාත්මක වදන් කියූ එහි සිටි ප‍්‍රභූවරු ඔවුනොවුන්ගේ උරහිස් වලට ඉහළින් එබෙමින් චෙක්පත දෙස බලන්නට වූහ. ඒ ඔහු සැබැවින්ම එහි සඳහන් කැර ඇත්තේ රුපියල් දෙලක්‍ෂ පනස් දහසක්දැයි සැක හැර දැන ගැනීමටය. එහි සැබැවින්ම රුපියල් දෙලක්‍ෂ පනස් දහසක් ලියා තිබිණි.
බොරු කාරයෙක්... වංචා කාරයෙක්.... කපටියෙක්.... පිස්සෙක්..... කාගෙ හරි චෙක් පොතක් අහුලලා වෙන්නැති. ප‍්‍රභූවරු ඔවුනොවුන්ගේ සවන් වලට මුහුණන්නට වූහ. සිය චෙක්පත අත්සන් කළ හෙතෙම එය පරෙස්සමෙන් පොතෙන් වෙන් කැර දෑතින්ම ගෙන නිලධාරියාට පිළිගැන්වීය.

”පින් සිද්ධ වෙච්චාවෙ උපාසක මහත්තයෝ.” නිලධාරියා අසුනින් නැගිට දෑතින්ම එය පිළිගනිමින් කීවේය.
”පින් තමයි මහත්තයෝ ඕනෑ. සල්ලි නම් කොච්චර තිබුණත් කිසි පලක් නෑ. යන කොට එක ශතයක් අරගෙන යන්න පුළුවන්ද? පින් නම් කොච්චර තිබුණත් කාරි නෑ. තියෙන තරමක් අරගෙන යන්න පුළුවනි.” සිනාසෙමින් කී හෙතෙම එළියට බැස රුවන්වැලි සෑය දෙසට හැරී දොහොත් මුදුන් තබා මහ හඬින් ”සාධු සාධු සාධු” කියා වැන්දේය. ඔහුට උපහාසාත්මක ලෙසින් සිනාසුණු යම් යම් උපහාසාත්මක වදන් කියූ ප‍්‍රභූවරු නිහඬව බිම බලාගත්හ. ඔවුන් එවේලේ පරිත්‍යාග කළේ දහස දෙදහස දෙදහස් පන්සීය යනාදී වශයෙනි. එකම ප‍්‍රභූවරයෙක් පමණක් රුපියල් පන් දහසක් පරිත්‍යාග කැර තිබිණී.

අකුරැස්ස, හේනෙගම විසූ දොන් හෙන්ද්‍රික් සිටුගේ අප්පුහාමි උපාසක මහතා රුවන්වැලි සෑයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා කළ අති විශාල වූ එම පරිත්‍යාගය පිළිබඳව එම පින් බිම පුරා තැන තැන සවිකැර තිබූ ශබ්ද විකාශන යන්ත‍්‍ර හරහා එවෙලේ පටන් පසු දින තෙක් සිය වරක් ප‍්‍රචාරය විය. එසේම පසුදින හිමිදිරියේ අටසිල් පවාරණවී සිය සුපුරුදු අත් දිග මේස් බැනියමෙන් හා කළු කබායෙන් සැරසුණු ඔහුගේ සේයාරුවක් විශේෂයෙන්ම එහි ගෙන්වන ලද ඡායාරූප ශිල්පියකු ලවා ලබා ගැනීමට එහි නිලධාරීහු කටයුතු කළහ.

මෙම ලිපිය සමග පළ කැර ඇත්තේ එදා ගන්නා ලදුව අදද අටමස්ථාන කාර්යාලයේ තැන්පත් කැර ඇති එම දැවැන්ත සේයාරුවේ කුඩා පිටපතකි.
1912 වසරේදී රුපියල් ලක්‍ෂ දෙකහමාරක් යනු අද කාලයේ නම් මිලියන ගණනාවකි. මන්ද? එම වකවානුවේ කම්කරුවෙකුගේ දෛනික වැටුප වූ කලී ශත 05ක් බැවිනි.

අකුරැස්ස, පරදුව ග‍්‍රාමයේ උපත ලද දොන් හෙන්ද්‍රික් සිටුගේ නම්වූ හෙතෙම ළමාවිය ඉක්මවීමත් සමගම එකල ”පුංචි එංගලන්තය” නමින් විරුදාවලි ලැබ තිබූ දෙනියාය තේ වතු අධිරාජ්‍යයේ පිහිටි තානායමේ සහකාර කෝකියකු ලෙසින් සේවයට බැඳුණේය.

දිනෙන් දින පොහොසත්වූ මේ උත්සාහවන්ත තරුණයා පසුව හේනේගම, ගොරගොඩ යන ගම්මාන වලින් ඉඩම් අක්කර සිය ගණනක් මිලයට ගැනීමට සමත්විය. එම ඉඩම් වල තේ වගාකළ හෙගෙම තේ වත්තෙ අප්පුහාමි යන නමින් ප‍්‍රසිද්ධ විය. අකුරැස්ස ප‍්‍රදේශයේ තේ වගා කිරීමේ ආදි කර්තෘවරයා අප ලිපියේ කථානායක දොන් හෙන්ද්‍රික් විය.

අප ලිපියේ කථානායක දොන් හෙන්ද්‍රික් අප්පුහාමි යටකී 1912 වසරේදී රුවන්වැලි සෑයට රුපියල් දෙලක්‍ෂ පනස් දහසක් පරිත්‍යාග කිරීමෙන් පසුව දොන් හෙන්ද්‍රික් සිල්වා සිටුගේ නමින් ප‍්‍රසිද්ධ විය.

ඒ දැවැන්ත පරිත්‍යාගයට කෘතවේදී වෙමින් ඔහුට ශ්‍රී මහා බෝධි අංකූර දෙකක් ත්‍යාග වශයෙන් පරිත්‍යාග කැරිණි. ඔහු ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ප‍්‍රධානත්වයෙන් අලි ඇතුන් සහිත මහා පෙරහරකින් එම බෝධීන් වහන්සේලා අකුරැස්සට වැඩමවාගෙන විත් අකුරැස්සේ තෙපුදෙණිය හා කියාඬුව යන ගම්මානවල තමන්ට අයත් ඉඩම් දෙකක රෝපණය කළේය.

කම්කරුවකුගේ දෛනික වැටුප ශත 05ක් වූ 1912 වසරේදී රුවන්වැලි සෑයට රුපියල් ලක්‍ෂ දෙකහමාරක් පරිත්‍යාග කළ මෙම ශ්‍රේෂ්ඨ පුරුෂයා සතුව තිබූ අක්කර දහස් ගණන් වූ ඉඩම්වල අද දස දහස් සංඛ්‍යාත ජනතාවක් නිවෙස් තනාගෙන ජිවත් වෙති. එසේම අකුරැස්ස රෝහල ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් පිහිටුවා ඇත්තේ එකී ඉඩම්වලය.

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ඉංග‍්‍රීසි ආචාර්ය පණ්ඩුල ලැබුනුහේවා මහතාට අපේ ගෞරවනීය ස්තුතිය !
සටහන හා ඡායාරූප සැපයුම අතුරලිය කේ.ඩබ්ලිව්. ගුණවර්ධන.

Source : http://www.lankadeepa.lk/index.php/articles/46251