Monday, March 5, 2012

අසිරිමත් බුදු ගුණයක් (Asirimath Budu Gunayak)

අසිරිමත් බුදු ගුණයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ සුගතධීර හිමි
බුදු රජාණන් වහන්සේගේ ලෝකවිදු ගුණය ගැන ඉතාමත් අසිරිමත් දේශනාවක් අංගුත්තර නිකායේ ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රයෙහි දැක්වෙනවා. මෙයින් බුදු රජාණන් වහන්සේගේ ලෝකවිදු ගුණය කොයිතරම් පුළුල් පරාසයක පැතිරිලා පවතී ද යන්න සිතා බලන්නට පුළුවන්.
දවසක් බුදු රජාණන් වහන්සේ ළඟට ආනන්ද හාමුදුරුවෝ ඇවිත් අහනවා, “ස්වාමීනි, මට මතකයි ඔබ වහන්සේ මට කියලා තියෙනවා ‘සිඛී’ කියලා බුදුන්ට හිටපු ‘අභිඥ’ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතුව පුරා සිටින සත්ත්වයන් සමඟ ඍද්ධියෙන් කථා කරන්න පුළුවන් කියලා. ස්වාමීනි, මට ආසයි දැනගන්න ශ්‍රාවකයෙකුට එසේ නම්, බුදු කෙනෙකුට කොයිතරම් හැකියාවක් තියෙනවද කියලා...”
තථාගතයන් වහන්සේ එවිට, “ආනන්ද, ඔය ප්‍රශ්නය අහන්න එපා. තථාගතයන් වහන්සේගේ හැකියාවන් අනන්තයි,” යැයි පිළිතුරු දුන්නා. ආනන්ද හාමුදුරුවො තුන් වතාවක් අහද්දී තමයි බුදු රජාණන් වහන්සේ මේ අසිරිමත් දේශනය කළේ.
“ආනන්ද, මේ හිරු සඳු දෙදෙනාගේ ආලෝකය කොතරම් පරාසයක විහිදෙනවාද, ඒ පරාසය තුළ සත්ත්වයන් උපදින තැන් තිස්එකක් තියෙනවා. මනුෂ්‍ය ලෝක එකයි, දිව්‍ය ලෝක හය යි, සතර අපාය, රූපාවචර බ්‍රහ්ම ලෝක දාසය යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරයි. මේ පරාසයට කියනවා ‘චූලනිකා’ ලෝක ධාතුව කියලා. ආනන්ද, ඊ ළඟට ඔබ ඔය චූලනිකා ලෝක ධාතුව දාහෙන් ගුණ කරන්න. ඒ එන පරාසයට කියනවා ආනන්ද ‘සහශි‍්‍ර ලෝක ධාතුව‘ කියලා. ඊළඟට ආනන්ද, ඔය සහශ්‍රී ලෝක ධාතුව දසදහසෙන් ගුණ කරන්න. ඒ ප්‍රමාණයට කියනවා ‘ද්විසහශ්‍රී ලෝක ධාතුව‘ කියලා. ඔය ද්විසහශ්‍රී ලෝක ධාතුවත් තවත් දසදහසකින් ගුණ කරන්න. එවිට එන පරාසයට කියනවා ‘ත්‍රිසහශ්‍රී ලෝක ධාතුව‘ කියලා. ආනන්ද, බුදුවරුන්ට පුළුවන්කම තියෙනවා ඔය ලෝකධාතුª හතර තුළ ම ඉන්න සත්ත්වයන් සමඟ කැමැති කැමති ආකාරයට ඍද්ධියෙන් සම්බන්ධ වෙලා කථා කරන්නට. ආනන්ද, තථාගතයන් වහන්සේගේ ඍද්ධිමය හැකියාව අන්න ඒ වගේ එකක්.”
ඒ දේශනාවට සවන් දී සිටි ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඇඟ කිලිපොළා ගියා. ඒ වගේ ම නිම් හිම් නැති සතුටක් දැනුණා.
“ස්වාමීනි, බුදු රජාණන් වහන්ස, මේ දේශනාව අහද්දී මගේ මුළු ඇඟම කිලිපොළා ගියා; හිරිගඩු පිපුණා; ඉතා ම නිම්හිම් නැති පී‍්‍රතියක් මට දැනුණා. අනේ! මම සරණ ගියේ මොන තරම් ගුණයකින් යුතු උත්තරීතර අසිරිමත් කෙනෙක් ද? කියලා මට පුදුම සතුටක් ඇති වුණා,” යනුවෙන් ආනන්ද හිමියන්ට කියවුණා. ඔබත් මමත් සරණ ගියේ කොතරම් අපරිමිත ගුණ සමුදායකින් යුතු බුදු කෙනෙකුන් දැ යි මෙයින් පෙනෙනවා. සාමාන්‍ය කෙනෙකුට මෙය සිතාගැනීමට නොහැකි යි.
‘මයි සද්ධා මත්තං, පේම මත්තං
සබ්බේ තේ සබ්බ පරායමෝ...”
යම් කෙනකුන්ට බුදු රජාණන් වහන්සේගේ ගුණ මහිමය කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් හෝ ඇති වෙලා තිබුණා නම්, ඔහු අනිවාර්යයෙන් ම සුගති උපතක් කරා යනවා. ඉතින් එවන් වූ බුදු ගුණ සිහි කරමින් අපත් භාවනා වඩා සිත පහදවාගත යුතු නො වේ ද?
http://www.namaskara.lk/?sid=article&dt=2011%2F11&id=2011%2F11%2Fnpg48_0

No comments:

Post a Comment