Tuesday, June 12, 2012

WarnaRoha Jathakaya [වර්ණරෝහ ජාතකය]


නිදාන කථාව:- එක් සමයක අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වූ පින්වත් සාරිපුත්තයන් වහන්සේ සහ මොග්ගල්ලාණයන් වහන්සේ පිටිසර ගමකට වැඩමකොට වාසය කල සේක. මිනිසෙක් මෙම දෙදෙනා වහන්සේගේ මිත්‍ර ධර්මය දැක කෙසේ හෝ බිඳවන්නට සිතක් පහල වී දෙදෙනා වහන්සේලා ලඟට වෙන වෙනම ගොස් නොයෙක් බොරු ගොතා ඔබට අසවල් නම බොහෝ දොස් කීවේයැයි කීය. ඒ දෙනමද කිසිවක් නොපවසා ඔහු යවා දෙනම එක් වී අසවල් පුරුෂයා අප බිඳවීමට යත්න දරන්නේය කියා වස් තුන් මස එහි වැඩ සිට භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස් එපවත් දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ දෑගසව්වන් වහන්සේලා අමතා ඔහු පෙරද තොප දෙදෙනා බිඳවන්නට උත්සාහ කලවිට එයද නිරර්ථ වූයේයැයි ඉකුත්වත වදාල සේක.

ජාතක කථාව: - යටගිය දවස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යය කරන කල්හි වනයක විශාල වෘක්ෂයක වෘක්ෂ දේවතාවෙක් විය. ඒ අසල සුදාඨ නම් සිංහ රජෙක්ද සුබාහු නම් ව්‍යාඝ්‍රයෙක්ද දැඩි මිත්‍රව වසන්නාහ. මේ දෙදෙනා දඩයම් කර ඉතිරි උන සතුන්ගේ කොටස් අහාරයට ගනිමින් කැනහිලෙක්ද සුවසේ වාසය කලේය. දිනක් කැනහිලා සිතන්නේ මෙතෙක් මේ දෙදෙනා නිසා කැලේ ඉන්න සියළුම සතුන්ගේ පාහේ මස් වර්ග අනුභව කර ඇතත් සිංහ මස් සහ ව්‍යාඝ්‍ර මස් අනුභව කර නැති බවය. මේ දෙදෙනා බිඳවා භේද කොට උනුන් හා ගස්සවා මරවා දෙදෙනාගේම මස් කෑමට සිතා සිංහයා ලඟට ගොස් කැණහිලා කියන්නේ, ස්වාමීනි, මා දිනක් ව්‍යාඝ්‍රයා ලඟට ගියෙමි ඔබගේ නුගුණ විනා ගුණයක් කීවේම නැත ඔහුට තරම් ගුණවත් වික්‍රමවත් රූපයක් ඔබට නැතැයි පරිභව කලේයැයි බොරු ගොතා පැවසීය. සිංහයා එය අසා හොඳයි තොප මෙතැනින් යන්නයැයි පිටත් කළේය. කැණහිලා එතැනින් ගොස් ව්‍යාඝ්‍රයාටද පෙර සේම කීය. සිංහයා සහ ව්‍යාඝ්‍රයා හමු වී කැණහිලා දෙදෙනා බිඳවන්න හදන බැව් දැන එතනින් එලවා දැමීය. දෙදෙනාම සැක ශුරුකොට නීච කැණහිලාගෙන් වෙන්වී සමගියෙන් විසූහ.

එසමයෙහි කැනහිලා වනාහි පෙර කී මේ පුරුෂයාය, සිංහව උපන්නේ සාරිපුත්තයන් වහන්සේය, ව්‍යාඝ්‍රව උපන්නේ මොග්ගල්ලානයන් වහන්සේය, වෘක්ෂ දේවතාව ඉපිද මේ කාරණය දුටුවේ අපගේ භාග්‍යවතුන් වහන්සේය.

ඉතින් පින්වත් මිතුරනේ මෙවැනි නීච ගති ඇති එකිනෙකා බ්ඳවන මිනිසුන් අදත් සිටිනවා. එම නිසා එක එක්කෙනාගේ වචනය එකවරම පිලිගෙන මිතුරුදම් නැතිකරගන්න හොඳ නැහැ. එවැනි අවස්ථා වලදී ඉතාම බුද්ධිමත්ව හරි වැරැද්ද තෝරාගැනීමට ඔබ දක්ෂ වෙන්න ඕන. පවිටු ඇසුර දුරින්ම දුරු කරන්නට ඕන

No comments:

Post a Comment